Monday, August 31, 2015

එන්ජිමේ ක්‍රියාකාරිත්වය

රථවාහන ගැන උනන්දු ඔයාලට මෝටර් රථයේ එන්ජිම හා එහි ක්‍රියාකාරිත්වය ගැන අවබෝධයක් තිබීම වැදගත්. දැනට ලෝකයේ බහුලවම භාවිතා වන එන්ජිම වන සිව් පහර හෙවත් 4 stroke, එන්ජිම ගැන එහි මූලික ක්‍රියාකාරිත්වය පිලිබඳ මේ ලිපියෙන් අවබෝධයක් ලබා ගනිමු.
History of 4 Stroke (The Otto Cycle) Engine
මෙම එන්ජිම මුල් වරට නිපදවනු ලැබුවේ නිකලස් ඕගස්ට් ඔටෝ (Nikolaus August Otto) විසිනුයි. ඒ වර්ශ 1876 මැයි මස 9 වැනි දිනකයි. අවුරුදු ගණනාවක් කරපු පරීක්ෂනයක ප්‍රතිපලයක් තමයි මේ සොයා ගැනීම. එම හේතුව නිසාම මෙම සිව් පහර චක්‍රයේ එන්ජිම ඔටො චක්‍ර (OttoCycle) එන්ජිම ලෙසත් හඳුන්වනවා.තාක්ශණය කොපමන දියුනු උනත් අදටත් මෙම මූලික ක්‍රියාකාරිත්වය වෙනස් වෙලා නෑ.
හොඳයි අපි එන්ජිමේ ක්‍රියාකාරිත්වය දෙසට යොමු වෙමු. එන්ජිම ක්‍රියාතමක වන්නේ ඉන්ධන දහනය කර එහි ඇති රසායනික ශක්තිය චාලක ශක්තිය බවට පරිවර්තනයක කිරීමෙනුයි. මෙම ක්‍රියාවලිය පියවර 4කින් තමයි සිදුවන්නේ. මෙම පියවර 4 තමයි අපි 4 ස්ට්‍රොක් ලෙස හඳුන්වන්නේ.මෙම ක්‍රියාවලිය අවබෝධ කර ගැනීම පහසු වෙන්න එන්ජිම තුල තියන මූලික උපාංග හා තාක්ශණික කරුණු කීපයක් අපි දැනට අඳුර ගමු.
  • Piston – පිස්ටනය, Compression chamber නොහොත් සිලින්ඩරය තුල ඉහල පහල ගමන් කරයි.
  • Compression chamber / Cylinder – පීඩන කුටිය එසේත් නැතිනම් සිලින්ඩරය තුල ඉන්ධන දහන ක්‍රියාවලිය සිදුවේ.
  • Intake valve & Exhaust valve – ඇතුල් කිරීමේ හා පිට කිරීමේ වෑල්ව මගින් ඉන්ධන මිශ්‍ර වාතය සිලින්ඩරය තුලට ඇතුල් කිරීම හා පිට කිරීම සිදුකරනු ලබයි.
  • Piston rod / Connecting rod – පිස්ටන් රොඩ් එක මගින් පිස්ටනය ක්‍රැන්ක් ශාෆ්ට් (crankshaft) එක හා සම්බන්ධ කිරීම සිදු කරනු ලබයි.
  • Crankshaft – එන්ජිමේ පහල කොටසේ ඇති මෙය පිස්ටනය හා සම්බන්ධව ඇත. පිස්ටනය මගින් කරන ඉහල පහල චලනය කැරකුම් බලයක් බවට පත් කර ගියර් පද්ධතිය වෙත ලබා දෙන්නේ මෙය මගිනි.
  • Top dead centre (TDC) / Bottom dead centre (BDC) – පිස්ටනය සිලින්ඩරය තුල ගමන් කරන ඉහලම සීමාව (TDC) හා පහලම සීමාව (BDC) මේ නමින් හඳුන්වයි.
දැන් අපි මෙම පියවර 4 අඳුර ගමු.
stroke 1
Intake stroke
ඉන්ටේක් ස්ට්‍රෝක් / චූසන පහර (Intake stroke)
මෙහිදී පිස්ටනය ඉහලම සීමාවේ (TDC) සිට පහල සීමාව (BDC) වෙත ගමන් කරයි. ඉන්ලට් වෑල්වය (Inlet valve) විවෘත ව තිබෙන අතර එයින් ඉන්ධන මිශ්‍ර වාතය සිලින්ඩරය තුලට ඇතුලත් වේ. පිටකිරීමේ වෑල්වය වැසී තිබේ. පිස්ටනයේ පහලට ගමන් කිරීම නිසා ඇතිවන පීඩන අවපාතය (vacuum) නිසා මෙලෙස ඉන්ධන වායු මිශ්‍රණය නිරායාසයෙන් සිලින්ඩරය තුලට ඇතුලත් වේ. ඔබ කොතනක හෝ Naturally Aspirated (NA) Engine ලෙස සටහන් කර ඇතිනම් ඒ මෙම ක්‍රියාවලියයි. ඉන්ධන මිශ්‍රණය සිලින්ඩරය තුලට පොම්ප කරන (forced induction) අවස්ථාවක්ද ඇති අතර එය ටර්බෝ චාර්ජ් (Turbo Charging) ලෙස හැඳින්වේ.කෙසේ වුවත් පිස්ටනයේ ගමන් කිරීම හෝ වෑල්ව පිහිටීම සමාන වේ.

කොම්ප්‍රෙශන් ස්ට්‍රෝක් / සම්පීඩන පහර (Compression stroke)
Compression stroke
Compression stroke
මෙහිදී පිස්ටනය පහල සීමාවේ සිට (BDC) ඉහල සීමාව (TDC) දක්වා ගමන් කරයි. වෑල්ව දෙකම වැසී පවතින අතර ඉන්ධන වායු මිශ්‍රයණය අධික තෙරපුමකට ලක්වීම සිදුවේ.







පවර් ස්ට්‍රොක් / බල පහර (Power stroke)
Power stroke
Power stroke

මෙහිදී පිස්ටනය ඉහල සීමාවෙ ඇති අතර ඉන්ධන මිශ්‍රණය දහනය ආරම්භ කරයි. පීඩණයට ලක්වී ඇති වායුව දහනයත් සමගම අධික ප්‍රසාරණයකට ලක් වන අතර එහි ප්‍රතිපලයක් ලෙස පිස්ටනය නැවත පහල සීමාව කරා ගමන් කරයි. මෙහිදී වෑල්ව දෙකම වැසී පවතී.

එක්ස්හෝස්ට් ස්ට්‍රොක්/ පිට කිරීමේ පහර (Exhaust stroke)
පවර් ස්ට්‍රෝක් එකෙන් පහලට පැමිණි පිස්ටනය නැවත වරක් ඉහලට ගමන් කිරීම මෙම පහර වේ. මෙහිදි පිට කිරීමේ (Exhaust valve) වෑල්වය විවෘත වන අතර පිස්ටනය ඉහලට ගමන් කිරීමේදී ඇතිවන තෙරපුම නිසා දහනය වූ මිශ්‍රණය එන්ජිමෙන් පිට වේ.
Exhaust stroke
Exhaust stroke
පිස්ටනයේ එක් පහරකදී (TDC to BDC හෝ BDC to TDC) ක්‍රෑන්ක් ශාෆ්ට් එක අංශක 180 හෙවත් වට බාගයක් කැරකෙනවා. ඒ අනුව පහරවල් 4 ම ඉවර වන විට එන්ජිම වට 2 ක් සම්පූර්ණ කරනවා.ඉහත විස්තර කරපු පිස්ටනයේ ඉහල පහල ගමන් කිරීම අනුවයි අපේ කාර් වලට අවශ්‍යවන කැරකුම් බලය ලැබෙන්නේ.
http://science.sbcc.edu/~physics/flash/heatengines/4stroke.html

Thursday, August 13, 2015

සංසාර ජීවිතය සාහසික මායාවකි

අමෘත අමාමහ නිර්වාණය ඇත්තේ මේ විප්‍රකාරයන්ගෙන් ගහන වූ අනන්ත පීඩාවන්ට කෙලෙස්‌ උල්පත් ඇත්තාවූ මේ ලෝකය තුළ නොවේ. පින්වත් යෝගාවචරයාට ඒ උතුම් අවේදයිත සුවය හමුවන්නේ ලෝකයෙන් එතෙරදීය. එනම් සකල විධවූ ක්‌ලේශයන් යළිදු කිසිදා නූපදින ආකාරයෙන් දවා අළු කළ තැනදීය.

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතය කෙතරම් නම් අසිරිමත් වීද? පසේ බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතද එමෙන්මය. මහා අරහත් මුනිවරුද එලෙසින්ම අසිරිමත් ජීවන දසුන්ම ඇති අය වෙත්. එහෙත් උන්වහන්සේලාගේ ජීවිත පහන්ද මරු සුළඟින් නිවී ගියේය. එමෙන්ම උන්වහන්සේලාගේ ජීවිත වෙතද ජරාව හා ව්‍යාධිය ගලා ආවේය. එහෙත් අරහත් බවට පැමිණ වදාළ හෙයින් උන්වහන්සේලාට එයින් දැනුණු කිසිදු මානසික වේදනාවක්‌ නොවීය. ඒ අනුව සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජාතික දුකද බියකරු ප්‍රපාතයක්‌ වන්නා සේම ජරා දුකද එබඳුම භයංකරවූ ප්‍රපාතයක්‌ බව දේශනාකොට වදාළ සේක.

ජරාව යනුවෙන් හඳුන්වන්නේ අනෙකක්‌ නොවේ. මහලු බවට පත්වීමයි. බොහෝ කල් ඉක්‌මයාමයි. මේරීම හා පැසවීමයි. එසේත් නැත්නම් ශරීරයේ සියල්ල දිරාපත්වීමයි. මේ මහා විශ්වය තුළ ජීවනය ලබන සියල්ලන්ම ඒ ජීවනය ලද වේලේ පටන්ම මොහොතක්‌ මොහොතක්‌ පාසාම ගොදුරුවන්නේ මේ ජරා ගින්නටය. ජාති දුක මෙන්ම ජරා දුකද සත්වයාට මහත් භයංකාර වූ ප්‍රපාතයක්‌ මෙන් වන්නේ කුමක්‌ නිසාදැයි ඔබට කල්පනා කළ හැකිද? මූලික වශයෙන්ම එය සත්වයාට මහා දුකක්‌ වන්නේ ඒ තුළ එයින් බේරී නික්‌ම පලායාමට කිසිදු මගක්‌ නැති නිසාය. එනම් මේ ජරා දුක හා අසරණකමම බැඳී වෙලී පවතින නිසාය.

කවරක්‌ වුවද ජරාවට පත්වීමෙන් මුලින්ම සිදුවන්නේ එහි ප්‍රකෘති සෞන්දර්යය විනාශයට පත්වී යාමය. එනම් සියල්ල එකම විකෘතියක්‌ බවට පත්වෙයි. පෙර තිබූ තත්ත්වයෙන් බලාපොරොත්තු නොවූ අපේක්‌ෂා නොකළ තත්ත්වයකට පත්වෙයි. මෙය සැබවින්ම පුහුදුන් සත්වයාට ඉහිලිය නොහැකි තරම් වූ දුක්‌ වේදනා ගෙන එන්නේය.

ජරා දුකට පත්වීම තුළින් ජීවිතය තුළදී පෙර ලැබුණු ජීවන වරප්‍රසාද සත්වයන්ට යළි යළිදු කිසිසේත්ම ලැබෙන්නේ නැත. ඔබ ඔබේ ජීවන මග මතින් මොහොතක්‌ පුංචි කාලයට පියමන් කරන්න. එදා ඔබේ රූපය කොතෙක්‌ නම් සියුමැලි රූප සෞන්දර්යයකින් යුක්‌ත වූවේද? ඒ රූපයට ආදරය කළ, ආශා කළ කොතෙක්‌ නම් අය ඔබ සෙනහසින් වැළඳ ගත්තේද? එහෙත් එයින් දශකයක්‌ පමණ, දශක දෙකක්‌ පමණ ඉක්‌ම ගිය තැනදී ඔබ කෙරෙන් ඒ සියල්ල ඈත්වී ගියේ කොතරම් නම් වේගයකින්ද? දැන් ඔබ වෙනස්‌ ජීවන ස්‌වරූපයකට පත්වී ඇත. තවත් මොහොතකින් තවත් සැටියකය. ඊළඟ මොහොතේ ඊළඟ මොහොතේ මේ ආදී වශයෙන් මොහොතක්‌ නෑර ඔබගේ චෛතසික සේම රූපයද එකිනෙකට වෙනස්‌ සැටියක්‌ බවට පත්වන්නේය. මේ ජීවිතය ජරා ගින්නට ගොදුරුවන සැටිය. මෙය ලොව කවරකුට වුවද ගෙන දෙන්නේ දුක්‌ වේදනාවක්‌මය. හුදෙක්‌ම ඒ අනිත්‍යතාවය අහිමිවීමට, භංගත්වයට මුහුණදීමෙන් සත්වයාට ලැබෙන අමිහිරි සිත් පහළ වීම නිසාය.

තුන් ලෝකාග්‍රවූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයේ ජීවත්වූ භද්‍රවතිකා ඇතින්න ඔබට සිහිපත් කළ හැකිද? ඇගේ තුරුණු කාලය බෙහෙවින් විසිතුරු බවට පත්වී, ඈ තුළ වූ මහත් ශක්‌තියෙන් කොසඹෑ නුවර උදේන රජුට යුද්ධවලදී විශ්මය ජනක ජයග්‍රහණය ගෙන ආවාය. එහෙත් හෙවණැල්ලක්‌ මෙන් කාලය හා අත්බැඳ පැමිණි ජරා දුක ඈ තුළ වූ ඒ විස්‌කම් සියල්ල නිමා කළේය. අන්තිමට කවරකුගේවත් හව්හරණක්‌ නොලද භද්‍රවතිකා ඇතින්නට ඉන්න හිටින්නට පවා තැනක්‌ නැතිවිය. කෑමට පවා නිශ්චිත අහරක්‌ පවා නොලත් ඈ මහලු වියෙන් දිගු කොටසක්‌ ගත කළේ සා පවසින්ය. දිනක්‌ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිඬු පිණිස කොසැඹෑ නුවර වීදින්හි වඩින සඳ භද්‍රවතිකා සම්මා සම්බුදුන් වෙත පැමිණ බුදු සිරිපා අභිමුව වැඳ වැටී ජරාවත් සමගම තමා වෙත ලැබුණු දුක්‌ අඟවා සිටියා. බුදුපියාණන් වහන්සේගේ පිළිසරණය මත ඇයට සැනසීම ලැබිණ.

අද ලෝකය දෙස මදක්‌ බලන්න. ලෝකයම බලන්නද වුවමනා නැත. ඔබ ඔබ ජීවත්වන ප්‍රදේශය, ගම, නගරයට මඳක්‌ සිත යොමන්න. ඒවායෙහි ජරා ගින්නට බිලිවී සිටින්නන් කොතෙක්‌ නම් සිටිනවාද? තුරුණු කාලවලදී ඔවුනගේ ජීවිත කෙබඳුවූ සෞන්දර්යන්ගෙන් පිරී තිබෙන්නට ඇතද? ඔවුන්ගේ ලෞකික සතුට තර කළ හිමිවීම් ඔවුනට කොයි තරම් ලැබෙන්නට ඇත්ද? ඒත් ඒ සියල්ල අද විශ්ව නියාමය විසින්ම ඔවුන්ගෙන් උදුරාගනු ලැබ තිබේ. එදා දිගට තිබූ නීල වරල්, මුතුකැට වන් දත්, වර්ණකාන්තියෙන් දිලිණු මුහුණු අත්පා අඟ පසඟ මෙකල එකම විකෘතීන්ය. ජරාව විසින් සියලු දේ ගිල ගත් පසුව භයානක හුදෙකලාවක තනිවී සිටින ඒ බොහෝ දෙනකු ඇත්තේ මරණයේ බලාපොරොත්තුව පමණෙකි. බොහෝ විට ඔවුහු ඒ සුන්දර අතීත සිහිකරති. එතෙකුදු වුවත් ඒවා මේ ජීවිතයේදී නම් ඔවුන් වෙත යළිත් කවරදාකවත් නොඑන වසන්තයන් පමණකි. අවසානයේ ඉතිරිවන්නේ මතකයන්ගේ වේදනා පමණි.

මේ සත්වයාට ඒකාන්ත වශයෙන්ම මුහුණ දෙන්නට සිදුවන බුදුපියාණන් වහන්සේ වදාළ ජරාවට පත්වීම නම් සංසාරික ප්‍රපාතයෙහි තවත් ලක්‌ෂණයකි. එනම් බොහෝ දේ ළඟාකරදී විශ්ව නීතිය විසින්ම නැවතත් උදුරා ගැනීමයි. ඒ අනුව ඔබ මේ ආ අති දීර්ඝ, අනවරාග්‍ර සංසාර ගමන තුළදී කොපමණ නම් විසිතුරුවූ රූප සෞන්දර්යයන් ලබන්නට ඇත්ද? රාජකුමාරවරුන්, කුමාරවරියන් ලෙස අප්‍රමාණවම අභිසෙස්‌ ලබන්නට ද ඇත. නමුත් ඒවාට සිදුවූQයේ කුමක්‌ දැයි මොහොතකටවත් ඔබ කල්පනා කර තිබුණාද? ඒ හැම දෙයම හැමදාම කාලයට තෙමී ජරාවාසවී සදාතනිකවම ගරා වැටිණ. අහිමිවීමේ වේදනාව පමණක්‌ ඔබ සිත් තුළ ශේෂ වූයේය. සංසාරය තුළ මහා දිගු ගමනක යෙදී සිටින ඔබ මේ ජරාව නම් ප්‍රපාතයට ඇද වැටුණු කල තවත් අතිශය අමිහිරි දුකකට මුහුණපාන්නේය. එනම් මෙහිදී සෙසු ලෝකයා අතර ඔබ අප්‍රිය වන තැනැත්තකු බවට පත් වේ. 

මේ කාලය තුළදී ඇත්තෙන්ම ඔබ ලෝකයාට පමණක්‌ නොව ඔබටමද අප්‍රියවන්නේය. සංසාර ජීවිතයේ හැටි එහෙමය. මෙහිදී සත්වයින් තුළ ඇතිවන අසරණකම මෙතෙකැයි කියා නිම කළ නොහැකිය. බුදුන් දවස ජරා ගින්නට බිලිව ව්‍යාධි ප්‍රපාතයටද ඇද වැටුණු පූතිගත්ත තිස්‌ස තෙරුන් වහන්සේ හැමෝගේම පිලිකුලට ලක්‌වුනා නේද? අන්තිමේදී උන්වහන්සේට බේත් උගුරක්‌, කැඳ උගුරක්‌වත් දෙන්නට කෙනකු හිටියේ නැත. බුදුකරුණා ගුණය දැකීමට තරම් ස්‌වාසනා ශක්‌තිය තිබූ හෙයින් අවසානයේදී ඒ සසාරගත ජරා ප්‍රපාතයෙන් ගොඩනැගුණු පූතිගත්ත තිස්‌ස හාමුදුරුවෝ සංසාර ප්‍රපාතයෙන්ද සදහටම ගොඩනැගී ගත්හ.

මේ ආදී වශයෙන් විදර්ශනාවට සිත් යොමන විට සංසාර ජීවිතය යනු කෙතරම් සාහසික වූ මායාවක්‌දැයි ඔබට නොසිතෙන්නේද? එහි රූප කාය තුළ පමණක්‌ නොව නාම කාය තුළද ඇත්තේ උදය හා වැය යන දෙක පමණි. එනම් ඇතිවීම හා නැතිවීමයි. මායාකාරී ලෝකයේ නොයෙක්‌ ඇතිවීම් තුළ තාවකාලික උද්දාමයකට පත්වී අපි සියල්ලෝම නැතිවීම හා බිඳ වැටීම තුළදී හඬමු. වැළපෙමු. ශෝක කරමු. එසේ වුවත් එයින් නික්‌ම යා හැකි සදාකාලික අවේදයිත සුව ඇති නිර්වාණගාමී මාවතට නොපිවිසෙමු. මේ තාක්‌ම අපට සංසාරයේ ජරාව නමැති ප්‍රපාතයට ඇද වැටෙන එකෙන් අතමිදී ගන්නට නම් නොහැකිමය. එමෙන්ම එහි වැටෙන්නට ඇති වාර ගණනද මෙතෙකැයි කියා සීමාවක්‌ පනවා ගැන්මටද නොහැකිය.

Tuesday, August 11, 2015

ගතික තිරිංග (Dynamic Braking)


ථ වාහන අතරින් දුම් රිය විශේෂ එකකි. ඒ එහි විශාලත්වය තාක්ෂණය වැනි කරුනු වලිනි. එහෙයින් ම දුම් රිය වල භාවිතා වන විශේෂ තිරිංග පද්ධතියක් වන ගතික තිරිංග (Dynamic Braking) පිළිබඳව විමසා බැලීමට අදහස් කලෙමි. මේ ලිපිය කියවන ඔබ සතුව තිරිංග පද්ධතියක අර්ථ දැක්වීම පිළිබඳ අවබෝධයක් තිබිය යුතු අතර ඔබට ඒ පිළිබඳව දැනුවත් වීමට අවශ්‍ය නම් මේ ලිපිය වෙත පිවිසෙන්න. තවද මෙම තිරිංග පද්ධති භාවිතා වන්නේ ඩීසල්-විද්‍යුත් (Diesel Electric) දුම් රිය වල වන අතර තිරිංග පද්ධතිය ගැන විමසීමට පෙර මෙම ඩීසල්-විද්‍යුත් දුම් රිය වල ක්‍රියාකාරීත්වය සරළව අවබෝධ කර ගත යුතුය. ශ්‍රී ලංකාවේ භාවිතා වන බොහෝමයක් දුම් රිය එන්ජින් මේ ඩීසල්- විද්‍යුත් එන්ජින් වේ.

සාමාන්‍ය රථ වාහන වල, අභ්‍යන්තර දහන එන්ජිම මගින් බ්‍රමණ චලිතයක් ඇති කරයි. එම භ්‍රමණ චලිතය සම්ප්‍රේශණ පද්ධතියට ලබාගන්නා අතර සම්ප්‍රේශණ පද්ධතිය මගින්  එම බ්‍රමණ චලිතය කෙලින් ම රෝද වලට සපයයි.


නමුත් ඩීසල් විද්‍යුත් දුම් රිය වල ක්‍රියාකාරීත්වය මෙයට වඩා තරමක් වෙනස් ය. එහිදී, එන්ජිමෙන් ලැබෙන බ්‍රමණ චලිතය මඟින් විද්‍යුත් ජනකයක් කරකවා විදුලි බලය ජනනය කරගනී. එම විදුලිය විදුලි මෝටරයකට සපයා මෝටරයෙන් ලැබෙන බ්‍රමණ චලිතිය දුම් රිය රෝද වලට ලබා දී දුම් රිය ධාවනය වීමට සලස්වයි. එනම් මෙහිදී එන්ජිම හා දුම් රිය රෝද අතර ඍජු යාන්ත්‍රික සම්භන්ධ තාවක් දක්නට නොලැබේ. එමෙන් ම සාමාන්‍ය වාහනයක මෙන් සම්ප්‍රේශණ පද්ධතියක් (එනම් ගියර් පෙට්ටියක්) මේ දුම් රියක දක්නට නොලැබේ


මෙවැනි සැකැස්මක් දුම් රිය එන්ජින් වල භාවිතා කරන්නේ ශක්ති හානිය අවම කරගැනීමටත්, පාලන යන්ත්‍රණය පහසු කරගැනීමටත්, වැඩි කල්පැවතීම හා අඩු නඩත්තුව වැනි හේතු කාරණා නිසාය. එමෙන් ම ගතික තිරිංග පද්ධතියක් යෙදිය හැකි වී තිබෙන්නේ ද මෙම සැකැස්ම නිසා මය. 

දැන් අප ගතික තිරිංග පද්ධතියේ ක්‍රියාකාරීත්වය දෙස අවධානය යොමු කිරීමට මත්තෙන් තවත් විද්‍යුතය පිළිබඳ මූලික සංකල්ප කීපයක් මතක් කරගනිමු.
  1. චුම්භක ක්ශේත්‍රයක් හරහා චලනය වන සන්නයක දෙකෙලවර විභව අන්තරයක් ප්‍රේරණය වේ. (එනම් විදුලි ජනකයේ ක්‍රියාකාරීත්වය යි)
  2. ධාරාව ගෙන යන සන්නායකයක, ධාරාවට  ලම්භක තලයක චුම්භක ක්ශේත්‍රයක් පවතී.
  3. භාහිර චුම්භක ක්ශේත්‍රයක ධාරාව ගෙනයන සන්නායකයක් තැබූ විට ධාරාවේ දිශාවටත් චුම්භක ක්ෂේත්‍රයේ දිශාවටත් දෙකටම ලම්භක දිශාවකට බලයක් ඇතිවේ. (එනම් ප්ලෙමින් ගේ වමන් නියමය)
එම නියමයන් පාදක කරගෙන පහත පරිදි ගතික තිරිංග ක්‍රියා කරයි. එනම් දුම්රියක ගතික තිරිංග යෙදූ විට විදුලි මෝටරය හා විද්‍යුත් ජනකය අතර ඇති විද්‍යුත් සම්භන්ධය විසන්ධි වේ. එවිට තව දුරටත් විදුලි මෝටරයෙන් දුම්රිය ගමන් කිරීමට අවශ්‍ය බලය සැපයීම නවතී. දැන් දුම්රිය ඉදිරියට තල්ලු වන්නේ දුම්රියේ අඩංගුව ඇති චාලක ශක්තියෙන් පමනි. සත්‍ය වශයෙන්ම ගතික තිරිංග පද්ධතිය මගින් සිදුකරන්නේ එම චාලක ශක්තිය තාප ශක්තිය බවට හරවා දුම්රියේ ගමන අඩ පන කිරීමයි. එය සිදුවන්නේ මෙසේ ය.

විදුලි ජනකයෙන් නිදහස් වූ විදුලි මෝටරය මීලඟට භාර ප්‍රතිරෝධක පද්ධතියක් හා සම්භන්ධ වේ (එනම් විදුලි මෝටරයේ සැපයුම් අග්‍ර භාර ප්‍රතිරෝධකයක දෙකෙලවරට සම්භන්ධ වේ). දුම්රියේ චාලක ශක්තිය නිසා තවදුරටත් ඉදිරියට තල්ලු වෙන දුම්රිය රෝද මඟින් දිගින් දිගටම විදුලි මෝටරය කරකවයි, මන්ද විදුලි මෝටරය හා දුම්රිය රෝද අතර ඇති ඍජු යාන්ත්‍රික සම්භන්ධය නිසා. 

මෙනිසා විදුලි මෝටරය ඩයිනමෝවක්(විදුලි ජනකයක්) ලෙස ක්‍රියා කර විදුලිය ජනනය කරයි. එම ජනනය වෙන විදුලිය ඉහත සඳහන් කළ භාර ප්‍රතිරෝධකයන් හරහා ලුහුවත් කර ඇති නිසා නිපදවෙන විදුලියෙන් බොහෝ කොටසක් මෙම ප්‍රතිරෝධක රත්වීම සඳහා වැය වෙයි. එවිට ඩයිනමෝවේ (එනම් දුම්රියේ විදුලි මෝටරය) චලනයට (දුම්රිය රෝද වලින් සැපයෙන) විශාල ප්‍රතිවිරුද්ධ බයයක් යෙදෙයි(ඉහත 3. කාරණය) එනම් දුම්රිය රෝද කරකැවීම බෙහෙවින් අඩාල වෙයි.



එලෙස දුම්රියේ අධික චාලක ශක්තිය විශාල තාපයක් බවට හැරවී හානි වෙයි. ඒ සඳහා දුම්රිය වල භාර ප්‍රතිරෝධක පද්ධතියක් ම යොදා ඇත. එමගින් ප්‍රතිරෝධක රත් වී දැවී යාම වලකියි. දුම්රිය එන්ජිමක පහල දෙපසින් ඇති ලාච්චු වැනි කොටස් වල ඇත්තේ මෙම ප්‍රතිරෝධක පද්ධතියයි.

දුම්රියක ඇති භාර ප්‍රතිරෝධක පද්ධතියක්

මෙම ක්‍රමය යොදාගැනීමේ වාසිය වන්නේ සාමාන්‍ය තිරිංග වලින් දුම්රියේ දැවැන්ත චාලක ශක්තිය තාප ශක්තිය බවට හැරවීමේදී එම කොටස් අධිකව රත් වී ඉක්මනින් විනාශ වීම වලක්වා ගැනීමට හැකි වීමයි.


එමෙන්ම මෙම යන්ත්‍රණයේ දී ගෙවී යන කොටස් නොමැති නිසා දුම්රියේ නඩත්තුව පහසු කරවයි. කෙසේ නමුත් ඩීසල් විද්‍යුත් දුම්රිය වල මෙම ගතික තිරිංග හා සාමාන්‍ය යාන්ත්‍රික තිරිංග යන යන්ත්‍රණ දෙකම එක වර යොදා ගනිමින් වඩා විශ්වාසවන්ත තිරිංග පද්ධතියක් සකසා ඇත.

මී ලඟට ඔබ දුම්රියක යන විට එය නවතන මොහොතේ ඉහත සඳහන් කල සංකීර්ණ ක්‍රියාවලිය උපයෝගී වන බව සිහියට නගාගන්න.

Friday, August 7, 2015

පිස්සු හැදෙන පට්ට Drone තාක්ෂණය


මුළු වීඩියෝ එකම බලන්න. පිස්සු හැදෙන පට්ට Drone තාක්ෂණය 

http://adf.ly/1MCp8t


තට්ටු 57 කින් යුත් දැවැන්ත ගොඩනැගිල්ලක් දින 19 කින්

ලොව කිසිදු සමාගමකට වඩා වේගයෙන් තමන් හට ගොඩනැඟිලි ඉදිකළ හැකි බව චීන සමාගමක් වන Broad Sustainable Building Co. සමාගම පවසනවා. තට්ටු 57 කින් යුත් දැවැන්ත ගොඩනැගිල්ලක් දින 19ක් වැනි ඉතාමත් කෙටි කාලයකදී නිමවා අවසන් කිරීමත් සමඟයි මේ සමාගම ලොව වේගවත්ම ගොඩනැගිලි නිර්මාණකරුවා වන්නේ.

Modular හෙවත් කොටස් එකලස් කිරීමෙනුයි මේ ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ. ඒ අනුව එක් දිනකදී තට්ටු 3ක පමණ වැඩ අවසන් කිරීමට මෙහි ඉදිකිරීම් ඉංජිනේරුවරුන්ට හැකියාව ලැබිලා. කෙසේ නමුත් මෙලෙස කොටස් එකලස් කිරීමට ප්‍රථම අවශ්‍ය කරන කොටස් 2736 නිර්මාණය කිරීමට සහ සැලසුම් කිරීම සඳහා මාස 4කට ආසන්න කාලයක් වැයවී තිබෙනවා.

Broad Sustainable Building Co. සමාගමේ මීළඟ වෑයම තට්ටු 220ක ගොඩනැගිල්ලක් දින 90කින් නිමකිරීමයි. මේ තරම් වේගයෙන් ගොඩනැගිලි නිර්මාණය කලත් එම ගොඩනැගිලි වල ආරක්ෂව හා සුව පහසුව පිළිබඳ තමන් දැඩි අවධානයක් යොමුකරන බවයි එම සමාගම පවසන්නේ.
http://adf.ly/1MCodo